Description

Memoirs, පැබ්ලෝ නෙරුදා තමන්ගේ මතක සටහන් සංගෘහිත කළ ඔහුගේම ලියමනක්. නිශ්චිත කාලානුක්‍රමයක් නොමැතිව ලියා තිබු මේ පොත ඔහුගේ දිවිසැරිය ලෙස ගත හැකි වුණත්, ස්වයං චරිතාපදාන බොහෝ දුරට සත්‍ය කතාවකට වඩා සමීප වන්නේ ප්‍රබන්ධයකට බව එය කියවූ මුල්ම අවස්ථාවේ මට අවබෝධ වුනු සත්‍යයක්. තිස්ස අබේසේකර ගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ ද Memoirs අනුව යමින් ලියන ලද්දක් බවයි මගේ වැටහිම.

Memoirs කවියක් වගේ ලියවුනු අර්ධ නවකතාවක්. එහි එන සමහර සාහිත්‍යමය වර්ණනා සහ ගොඩ නැඟවීම් නෙරුදාට ම ඇරෙන්න අන් අයෙකුට කළ හැකි ඒවා නොවෙයි. පොත මගේ මන බැඳ ගන්නේ ඒ නිසයි. නෙරුදා සිය ජීවිත කාලය තුළ ඉතිහාසයක් අත් වින්ද කෙනෙක්. බොහෝ ලේඛකයින් අත්වින්දින්නේ බොහෝ විට තමන් ඉපදුනු දේශයේ සහ ඒ කලාපයේ අත්දැකීම්. එහෙත් නෙරුදා ඇමෙරිකාවත්, යුරෝපයත්, ආසියාවත් තම ජීවිතය තුළ අත්විඳි කෙනෙක්. දෙවන ලෝක යුද්ධයේ සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ විලාපයන් ගෙන් දෙසවන් පුරවා ගන්න කෙනෙක්. නවතින තොටුපලින් තොටුපල හමුවන ආදරය එහි ගැඹුරුම තැනින් වීද, සමුගෙන යන සේලරුවෙකු සේ ආදරය කළ කෙනෙක්. ඔහුගේ කවිය මෙතරම් බරසාර වන රහස (Memoirs) පොත කියවන්නියට හෙළිදරව් වේවි. ගේබ්‍රියෙල් ගාෂියා මාකේෂ්, නෙරුදා විසිවෙනි සියවසේ විශිෂ්ටතම කවියා ලෙස හැඳින්වීම අරුමයක් නොවන බව පසක් වේවි.

එහි ඇතුලත් එක් පරිච්ඡේදයක නම ‘දිදුලන හුදකලාව’. එය ඔහුගේ දිගු දිවිසැරීයේ එක් කුඩා මග සලකුණක් පමණයි. එහෙත් එය තීරණාත්මක එකක්. ඇල්බොරාදා නමින් කළ චිත්‍රපටය සඳහා පිටපත මුලින්ම සකස් කෙරුනේ දිදුලන හුදකලාව පරිච්ඡේදයේ එන සිදුවීමක් වටා තවත් සිදුවීම් ගොනු කිරීමෙන්. පොතේ සටහන් සක්කිලි තරුණිය වෙත නෙරුදා ගේ සින් බැඳීමත්, ඇය සමග වන රමණ අවස්ථාවන් වගේම චිත්‍රපටයේ සෑම සිදුවීමක්මන් සත්‍ය සේ පෙනෙන කරුණු මත පදනම්ව පරිකල්පනීයව ගොඩ නැගුනු සිදුවීම්. ‘ඇල්බොරාදා’, කවියෙකු, විප්ලවවාදියෙකු ලෙස පසු කලෙක මෝරා වැඩෙන ‘අංකුර නෙරුදා’ පිලිබඳ මගේ ප්‍රබන්ධයයි. නෙරුදා නොලියු කවියයි.

සමන් වික්‍රමාරච්චි නැවත සිංහලෙන් ලියන, Memoirs “මට මතක මම” ලෙස නම් කරන්නේම, නෙරුදා ගේ දිවිසැරිය ඇත්තත් ප්‍රබන්ධයත් අතර දෝලනය වන බවට ඉඟි කරමින්. ‘මට මතක මම’ හුදු පරිවර්තනයක් ඉක්මවා ගිය සුවිශේෂ ලිවීමක් වන්නේ ඒ නිසයි.

අශෝක හඳගම

Additional information

Weight 625 g
book-author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.