Description
Mandra
පළමුව විමතියට හා බියටත්, දෙවනුව තිගැස්මටත් පත්වූ ඔහු සෙමෙන් පහත්වී වැටී සිටි රුව වෙත නැඹුරු වූයේ සැලෙන හදවතිනි. මේ වනගත ඉසව්වේ එවන් දසුන් ඉතාමත් විරල ය. ඔහු වඩාත් ම මවිත වූයේ එබැවිනි. හිම මත වැටී සිටි රුව කවරකාරයේදැයි හදිසියේම නිශ්චය කරගත් මොහොතේ ඔහුගේ දෙනෙත් විමතියෙන් යළිත් ඇළලී ගියේය. උන්නේ යුවතියකි. පෙනුමෙන් ඇගේ වයස වසර විස්සකට වැඩි නැත. ඈ සිටියේ සම්පූර්ණයෙන්ම සිහි විසඥව ය. රතු සළුවකින් ඇගේ හිස ආවරණය වී තිබිණි. ඇගේ ළා දුඹුරු වර්ණ කේශ කලාපය ඊට යටින් විසිරී අවුල් වී හිම මත දැවටී අඩක්ම හිමෙන් යට වී තිබිණි. ඔහු පහත් වී ඇගේ කම්මුලක් තෙරපා බැලුවේ ඈ ජිවතුන් අතර සිටිනවාදැයි සක හැර දැනගන්නට ය.