Description
”දයා මගේ කැමැත්තට විරුද්ධව සීතා කසාද බැන්දොත්, මගේ කිසි දෙයක් එයාට අයිති නො වන බව රන් බණ්ඩට කියනවා. ඔය මඟුල වළක්වන්ට පුළුවන්. මැණිකේ කණගාටු වෙන්න එපා. දයා හෙට අනිද්දාම ආපහු එයි.”
”දයා ආයෙත් මෙහෙ නවතින්ට එන්නේ නැහැ.”
”නැහැ! අයි එහෙම කිවේ?”
”දයා සීතාව කසාද බන්දාලු.”යි ඩිංගිරි මැණිකා බිම බලාගෙන කීවා ය. ”පුතා සීතා එක්ක නවතින්ට ගියා.”
”කසාද බැන්දා!” යි උස් හඬින් කියමින් ඔහු පුටුවෙන් නැගිට්ටේ ය. ”කසාද බැන්දා! හොරෙන් ම ගිහින් අපට නො කියා කසාද බැන්දා! කෙළෙහි ගුණ නො දන්නා එකා. මම මෙච්චර ආදරයෙන් හැදුවා. මේ කෙල්ලක් මට වැඩිය ලොකු වුණා.”
ඔහු සාලයෙහි ඔබ මොබ සක්මන් කරන්නට විය. ඩහදියෙන් තෙමුණු ඔහු ගේ මුහුණ කෝපයෙන් කළු වී ඇත. ඇස් දිලිසෙයි. කම්මුල් පෙරටත් වඩා වළ ගැසී, රැළි නැඟී ඇත. ඔහු උමතු වූවකු මෙන් ඩිංගිරි මැණිකාට පෙනිණි.
”මම ඔයාව පවුලෙන් අහකට දමනවා.” යි ඔහු මුර ගෑවේ ය. ”මේ ගෙදරට නිකම්වත් අඩිය තියන්ට එපාය කියපන්.”